ආණ්ඩුව බොරු කරයි – සේවක අරමුදලින් බිලියන 30 ක බද්දක් – අරමුදල් කොල්ලයට එරෙහිව ක‍්‍රියාමාර්ගවලට

සේවක අර්ථසාධක අරමුදලෙන් 2018 වර්ෂය සඳහා බදු ලෙස රුපියල් බිලියන 30 ක් අයකර ඇති බවත් ආණ්ඩුව බදු අය කර නොගන්නා බවට කළ ප‍්‍රකාශයන් සම්පූර්ණයෙන් අසත්‍ය වී ඇති බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. සේවක අර්ථසාධක අරමුදලෙන් බදු අයකර ගැනීම නීති විරෝධී බවත් බදු ප‍්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් බවත් පවසන ඔහු ලක්‍ෂ 26 ක් වන සේවකයින්ගේ සේවක ප‍්‍රතිලාභ 10.5 සිට 9 දක්වා මෙමගින් අඩුවන බවත්ය. ලිච්ඡවී ක‍්‍රමයෙන් දසරාජ ධර්මයෙන් රට පාලනය කරන බව පවසන අගමැතිවරයාගේ පිළිවෙත මෙම මුදල් කොල්ලය හරහා රටට පෙනෙන බවත් වසන්ත සමරසිංහ සහෝදරයා පැවසීය.
සේවක අර්ථසාධක අරමුදලට බදු ගහන්න ගෙනා යෝජනාව හකුලාගන්නා ලෙසත් ADB- USA ගිවිසුම හරහා අරමුදල කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම නවතන ලෙසත් බලකරමින් රටපුරා ඊට එරෙහිව ක‍්‍රියාමාර්ග ගන්නා බව මෙහිදී වසන්ත සමරසිංහ සහෝදරයා පැවසීය.
ඒ අනුව ලබන මස මුල් සතියේ සිට පෝස්ටර් ප‍්‍රචාරයත්, සේවක දැනුවත් කිරීමේ පත‍්‍රිකා බෙදාහැරීමටත්, ආයතන මට්ටමින් සේවක උද්ඝෝෂණ පැවැත්වීමටත් කටයුතු කරන බවත් ආණ්ඩුව ඒ සඳහා යහපත් ප‍්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ජාතික මට්ටමින් විරෝධතා උද්ඝෝෂණ පවත්වන බවත් මෙහිදී වසන්ත සමරසිංහ සහෝදරයා මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදී වසන්ත සමරසිංහ සහෝදරයා දක්වන ලද අදහස් සහිත හඩ පටය මෙසේ පලකරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *