එක ඇලෝසියස් කෙනෙක් වෙනුවට ඇලෝසියස්ලා 10 ක් හදන්න එපා – අන්තරෙන් මහබැංකු අධිපතිට කියයි

ලක්‍ෂ 26 ක් පමණ වන සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට හිමි රුපියල් බිලියන 2000 කට වැඩි අරමුදල නැවත කොටස් වෙළඳපල තුල ආයෝජනය සඳහා කටයුතු කරන බවට මහබැංකු අධිපතිවරයා කරන ලද ප‍්‍රකාශය පිළිබඳව වහා සාකච්ඡුාවක් ලබාදෙන ලෙස අන්තර් සමාගම් සේවක සංගමය ඉල්ලා ඇත. ඉතිහාසය පුරාවට සේවක අර්ථසාධක අරමුදල විවිධ අවස්ථාවල කොල්ලකෑමට ලක් වූ බවත් එහෙත් කොටස් වෙළඳපල තුල ආයෝජනය මෙන්ම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කිරීම නිසා මෙම අරමුදලට අලාභ සිදු වූ බවත් පවසන අන්තර් සමාගම් සේවක සංගමය 2008-2012 වකවානුව තුල කොටස් වෙළඳපල තුල සිදුකරන ලද ආයෝජන නිසා කෝටි 2800 කට අධික මුදලක් අරමුදලට අහිමි වූ බවත් පවසයි.
මේ සම්බන්ධව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයා මහබැංකු අධිපතිවරයා වෙත ලිපියක් ලියා ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
එදා EPF අරමුදල කොල්ලකෑමට යොදාගත් යාන්ත‍්‍රණය වූයේ කොටස් වෙළඳපල තුල සිදුකරන ලද වංචා තුලින් අරමුදල කොල්ලකෑමය. අද කොටස් වෙළඳපල ආයෝජන අඩු වී ඇති නිසා ප‍්‍රාග්ධන වෙළඳපල හොම්බෙන් ගොස් ඇත. ඔබතුමා ද නැවත සූදානම් වන්නේ සේවක අරමුදල් යොදවා එක ඇලෝසියස් කෙනෙකු වෙනුවට ඇලෝසියස්ලා දහදෙනෙකු බිහි කිරීමටය. එදා රාජපක්‍ෂ පවුල කළ දේ අද රනිල්-මෛතී‍්‍ර හවුල විසින් ද සිදු කිරීමට යන්නේ එකම දේය. එසේ අවදානමේ යෙදවීමට උත්සාය කරන්නේ සේවක අරමුදල්ය.
ඉතිහාසය තුල සිදු වූ කිසිදු වංචාවකට දඩුවම් ලබාදීමක් හෝ අහිමි වූ මුදල් අයකර ගැනීමක් සඳහා ශී‍්‍ර ලංකා මහ බැංකුව කටයුතු කර නැත. මෙම වංචා සිදුකළ චුදිතයින් තවමත් EPF හි වගකිවයුතු තනතුරු දරන අතර EPF ආයෝජන උපදේශන කමිටුව තුලද සිටී. සියල්ල විසින් සිදුකරන ලද අලාභයන්ට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ 26 ලක්‍ෂයක් වන අරමුදලේ සාමාජිකයින්ටය.
මෙම තත්වය තුල ඔබතුමාගේ තීරණය සමග නැවත කොටස් වෙළඳපල EPF අරමුදල් ගිලගැනීමට සූදානම් වෙමින් සිටී. මෙම තත්වය තුල අපගේ සාමාජිකයින්ගේ අරමුදල් වල සුරක්‍ෂිතාව පිළිබඳව බරපතල අවදානමක් පවතින බැවින් එම ආයේජන ආරම්භ කිරීමට පෙර අප සංගමය වෙත කඩිනම් සාකච්ඡුාවක් ලබාදෙන ලෙස ගෞරවයෙන් යුතු ඉල්ලා සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *