ගලහ රෝහලේ ඇති වූ තත්වය සෞඛ්‍ය සේවයේම අර්බුදය කියාපානවා – වෛද්‍ය ජයන්ත බණ්ඩාර

පසුගිය දිනවල පේරාදෙණිය ගලහ රෝහලේ ඇති වූ සිද්ධිය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අඩුපාඩුවක් නිසා නොව මුලූ සෞඛ්‍ය සේවයේම අර්බුදය කියාපෑමක් බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි. මේ සම්බන්ධයෙන් ඊයේ (30) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
ගලහ රෝහල මහනුවර දිස්ත‍්‍රික්කයේ තිබූ ප‍්‍රාදේශීය රෝහලක් බවද එවැනි රෝහලක් සඳහා පැය 24 පුරා සේවය සැපයීම වෙනුවෙන් වෛද්‍යවරුන් 5 දෙනෙකුවත් අවශ්‍ය බවත් නමුත් එම රෝහල තුල MBBS වෛද්‍යවරයෙක් හා ලියාපදිංචි සහකාර වෛද්‍ය නිලධාරිනියක් පමණක් සිටි බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසීය. මෙවැනි හදිසි ප‍්‍රතිකාර සඳහා මෙම MBBS වෛද්‍යවරයාගේ සේවය දවසක් හැර දවසක් රාත‍්‍රී සේවයේ යෙදෙමින් සේවය කරන බවත් පැවසූ ඔහු එවැනි තනි කෙනෙක් පමණක් කෙසේවත් ප‍්‍රමාණවත් නොවන බවද ඔහු මෙහිදී පැවසීය. එමෙන්ම වෛද්‍යවරයාගේ සහායට හෙද කාර්ය මණ්ඩලයේ කිසිවකු මේ රෝහලේ නැති බවත් එවැනි තත්වයකදී එම වෛද්‍යවරයා හට වෛද්‍යවරයාගේ කාර්ය පමණක් නොව හෙද කාර්යත් කරන්නට සිදුවීමත් නිසාත් එවැනි තත්වයකදීත් කෙසේ හෝ එම රෝගී වූ දරුවාගේ කළ හැකි සියලූ ප‍්‍රතිකාර කර නැවත මහනුවර රෝහලට මාරු කරන්නට ගිලන් රථයක් නොමැතිවීම නිසාත් එය වෙනත් රෝහලකින් ගෙනඒමට සිදු වූ නිසාත් මෙම ප‍්‍රමාදය සිදුවී ඇති බවත් එය වෛද්‍යවරයාගේ කිසිදු අඩුපාඩුවක් නොව සමස්ත සෞඛ්‍ය සේවයම පත්වී ඇති අර්බුදය බවත් මෙයට සම්පූර්ණයෙන්ම මෙතෙක් බලයේ සිටි ආණ්ඩු වගකිවයුතු බවත් ඔහු මෙහිදී පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ රෝගී වූ විටත්, සෞඛ්‍ය ඇමතිවරයා රෝගී වූ විටත්, වත්මන් ජනාධිපතිවරයා රෝගී වූ විටත් රෝහල් ගතවීම සඳහා යන්නේ විදෙස් රටවල රෝහල්වලට බවත් මෙරටේ සෞඛ්‍ය සේවාවේ අර්බුදය ඔවුනුත් හොඳින් පිළිගන්නා බවත් මේ තුලින් පැහැදිලි වන බවද ජයන්ත බණ්ඩාර පැවසීය. එමෙන්ම සෞඛ්‍ය සේවාව සඳහා අවම වශයෙන් දල ජාතික නිෂ්පාදිතයෙන් 5% ක් වෙන් කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසද්දී ලංකාවේ එය 1.5% ක් බවත් මෙවැනි තත්වයකදී සෞඛ්‍ය සේවාව අර්බුදයකට යෑම නොවැළැක්විය හැකි බවද ජයන්ත බණ්ඩාර පැවසීය. එමෙන්ම සෑම විටම සෞඛ්‍ය සේවාවේ අර්බුදයන්හිදී රටේ ජනතාව රෝහල් කාර්ය මණ්ඩලය සමග ගැටුම් ඇති කරගන්නා බවත් නමුත් මෙහි නිසි වගකිවයුත්තන් වනුයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලූ ආණ්ඩුව බවත් එය ජනතාව නිසි පරිදි තේරුම් ගත යුතු බවද මෙහිදී වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසීය.
මෙම මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති වෛද්‍ය අසංග වික‍්‍රමසිංහද සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *