තැපැල් සටනට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයත් ….

සිය ඉල්ලිම් ලබා නොදීමට විරෝධය දක්වමින් තැපැල් සේවකයින් විසින් ප‍්‍රධාන තැපැල් හුවමාරුව අසළ ආරම්භ කර තිබෙන උපවාසයට සහයෝගය පල කරමින් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඞී. ලාල්කාන්ත සහෝදරයා ඇතුළු වෘත්තීය සමිති නායකයින් රැසක් අද පෙරවරුවේ එම උපවාසයේ වාඩිවූහ.

තැපැල් සේවක සටනට සුභපතන බවත් එය ජයග‍්‍රහණයෙන් අවසන් කරගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන බවත් සඳහන් කර සිටි කේ.ඞී. ලාල්කාන්ත සහෝදරයා අවධාරණය කර සිටියේ තැපැල් සේවක ගැටළුව විසඳීම සඳහා ආණ්ඩුව වහාම මැදිහත්විය යුතු බවයි. එසේ නොවී මෙය දිග්ගැස්සවීමට ආණ්ඩුව කටයුතු කරන්නේනම් අනෙකුත් වෘත්තීය සමිතිද සමග එක්ව ඒකාබද්ධ අරගලයක් දියත් කරන බවද අවධාරණය කළේ ය.

මෙම අවස්ථාවට ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ, ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල්, සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සමිතියේ ප‍්‍රධාන ලේකම් එස්. පී. විතානගේ යන මහත්වරු ඇතුළු වෘත්තීය සමිති නායකයින් රැසක් ඊට එක්වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *