දහදිය සිත්තම 2018 වැඩකරන ජනතා නිර්මාණ ඇගයීම් උළෙල උත්කර්ෂවත් අන්දමින් නිමාවට

දහදිය සිත්තම වැඩකරන ජනතා කලාඋළෙල ඔක්. 26-27 දෙදින පුරා බස්නාහිර පළාත් සෞන්දර්ය පරිශ‍්‍රයේදී කලාකරුවන් මෙන්ම නව නිර්මාණකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව නිමාවට පත්විය.
ප‍්‍රවීණ සාහිත්‍යවේදී කමල් පෙරේරා, ප‍්‍රවීණ කිවිවර නන්දන වීරසිංහ, මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල, ප‍්‍රවීණ සාහිත්‍යවේදී ඇන්තනී ජීවා, ප‍්‍රවීණ කිවිවර මේමන් කවි, සිනමා විද්‍යාඥ ගියන්ත අර්ථසාද්, සිනමාවේදී ඡන්න ‌දේශප‍්‍රිය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ප‍්‍රවීණ ලේඛක සාහිත්‍යවේදී ටෙනිසන් පෙරේරා, ජනතා ලේඛක පරපුරේ ප‍්‍රවීණ ලේඛක ගුණසේන විතාන, ප‍්‍රවීණ ගායක එස්. කලාවතී, මිත‍්‍ර කපුගේ, ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී අනුර ශ‍්‍රීනාත් ඇතුලූ විශාල කලාකරුවන් හා සාහිත්‍යවේදීන් පිරිසකගෙන් මෙන්ම ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිතහේරත් මහතා ඇතුලූ වෘත්තීය සමිති නායකයින්ගේද සහභාගීත්වයෙන් මෙම උළෙල සාර්ථකව පැවැත්විය.
කෙටි කථා, කාව්‍ය රචනා, ගීත රචනා, කෙටි නාට්‍ය, ඡායාරූප, චිත‍්‍ර, ජංගම දුරකතන කෙටි චිත‍්‍රපට ඇතුලූ තරග අංශ ගණනාවක් සඳහා විවෘත හා සීමිත අංශ නිර්මාණකරුවන් විසින් යොමු කරන ලද නිර්මාණවලින් ජයග‍්‍රහණය ලබාගත් නිර්මාණකරුවන් පිරිසක් මෙහිදී වැඩකරන ජනතා සම්මානයෙන් පිදුම් ලැබූහ.
ප‍්‍රදර්ශන කුටි, කෘතිය එළිදැක්වීම, වීදි නාට්‍ය, පොත් ප‍්‍රදර්ශන, ජංගම දුරකතන කෙටි චිත‍්‍රපට උළෙල, දහදියේ සිතුවම්, චිත‍්‍ර ඇඳීම හා මූර්ති නෙලීම ඇතුලූ විශේෂාංග රැුසකින් සමන්විත පැවැත්වූ කලා උළෙල රටපුරා නියෝජනය කරන රාජ්‍ය, වතු, පෞද්ගලික ක්‍ෂේත‍්‍රයන්හි සේවයේ නියුතු සිංහල හා දෙමළ මාධ්‍ය නව නිර්මාණකරුවන් විශාල පිරිසකගේ සහභාගීත්වය සහිතව මෙවර උළෙල සාර්ථකව නිමා වූ බව දහදිය සිත්තම සාහිත්‍ය අනුකමිටුවේ සභාපති චන්දන සූරියආරච්චි සහෝදරයා සඳහන් කළේය.
රටපුරා විහිදුනු නිර්මාණකරුවන්ගේ අව්‍යාජ නිර්මාණකරණයේ සැබෑ වේදිකාව බවට දහදිය සිත්තම පත්වී ඇති බවත් තවදුරටත් එම නිර්මාණකරුවන්ගේ නිර්මාණශීලී කුසලතාවයන් ඉහළ නැංවීම සඳහාත් එම නිර්මාණ සමාජගත කිරීම සඳහාත් මුලූ මහත් සමාජයටම අහිමි කර ඇති සංස්කෘතික ජීවිතයක් මිනිසුන්ට දිනාදීම සඳහාත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සාහිත්‍ය අනුකමිටුව ලෙස ඉදිරියේදී පුලූල් වැඩපිළිවෙලක් දියත් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම උළෙල සාර්ථක කරගැනීම සඳහා සහයෝගය දැක්වූ සියලූම කලාකරුවන්, සාහිත්‍යදරයින් ඇතුලූ සියලූ දෙනාටම ස්තූතිය පුදකරන බවද ඔහු සඳහන් කළේය.

     

     

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *