දුම්රිය නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කළ ප‍්‍රාදේශීය සභා සභාපති වහාම අත් අඩංගුවට ගන්න – එස්.පී. විතානගේ

අද දින පොල්ගහවෙල දුම්රිය රක්‍ෂිත ඉඩමක් දේශපාලන බලය යොදා බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කටයුතු කිරීම නිසා ඊට විරුද්ධ වූ පොල්ගහවෙල ප‍්‍රධාන දුම්රිය ස්ථානාධිපති හා දුම්රිය ආරක්‍ෂක අංශයේ කාර්යභාර නිලධාරීට කපා කොටා මරා දමන බවට තර්ජනය කරමින් මහජනයා ඉදිරියේ දුම්රිය නිලධාරීන්ගේ ගෞරවය කෙළෙසන පරිදි කටයුතු කළ පොල්ගහවෙල ප‍්‍රදේශීය සභාවේ සභාපති ලිවේරා ගුණතිලක නැමැත්තා වහාම අත්අඩංගුවට ගෙන නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ සභාපති එස්.පී. විතානගේ සහෝදරයා පවසයි. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේ සඳහන්ය.
පොල්ගහවෙල ආරක්‍ෂක විවේකාගාරය අසල දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග ෆෝමන් කාර්යාලය හා ගොඩැගිලි අංශය ඇතුළු දුම්රිය කාර්යාල ගණනවක් පිහිටි මෙම භූමිය, දුම්රිය නිවාස හා ගොඩනැගිලි රාශියකින් සමන්විත දුම්රිය රක්‍ෂිත භූමියකි. ඒ ආසන්න පෞද්ගලික ඉඩම්වල නිවැසියන් විසින් අනවසරයෙන් යාම්xඊම් සඳහා කෙටි මාර්ගයක් ලෙස මෙම භූමිය පරිහරණය කර ඇත. එම පෞද්ගලික නිවාසවල නිවැසියන් සඳහා නීතියානුකූලව වෙන්කර දී ඇති මාර්ගය පරිහරණය නොකර, දේශපාලන බලය යොදා ගනිමින් මෙම දුම්රිය රක්‍ෂිත භූම්ය කීප දෙනෙකුගේ වුවමනාවට දේශපාලන වාසි ලබාගැනීම සඳහා යොදාගැනීම කිසිසේත්ම නොකළ යුත්තකි.
දුම්රිය දේපළ රජයේ දේපළ වන බැවින්, මෙම දුම්රිය නිලධාරීන් රජයේ නිලධාරීන් ලෙස තමන්ගේ රාජකාරි වගකීම ඉටු කිරීමේදී, දේශපාලන මැරවරයින්ගෙන් ඔවුන්ට එල්ලවී ඇති මැර තර්ජනය පිලිකුල් සහගතව හෙලා දකින අතර, දුම්රිය නිලධාරීන් ආරක්‍ෂා කරගැනීම අපගේ වගකීමකි.
තම රාජකාරි වගකීම නිසි පරිදි ඉටුකරන නිලධාරීන්ගේ ස්වාධීන අයිතිය ආරක්‍ෂා කිරීම අපගේ වගකීම වන බව පෙන්වා දෙන අතර, එවැනි නිලධාරීන්ගේ රාජකාරියට බාදා කරන මැරවරයින් සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කිරීම ඔබ සතු වගකීමක් වන බවද අපගේ විශ්වාසයයි.
එසේ හෙයින්, මෙම සිද්ධිය පදනම් කරගනිමින් වෘත්තීය කි‍්‍රයා මාර්ගයකට අවතීර්ණවීම වැලැක්වීම සඳහා මෙම සභාපති වරයා වහාම අත්අඩංගුවට ගෙන නීතිමය පියවර කඩිනමින් ගන්නා ලෙසත්, ඔබ ගන්නා කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් අප සංගමය දැනුවත් කරන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *