ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථා කරන ආණ්ඩුව වරාය වෘත්තීය සමිති මර්දනය කරනවා – වසන්ත සමරසිංහ

වරාය තුල වෘත්තීය සමිති ක‍්‍රියාකාරිකයින්, සාමාජිකයින් අත්තනෝමතික ලෙස මාරු කරමින් වෘත්තීය සමිති මර්දනය කිරීම වහා නැවැත්වීමට කටයුතු කළ යුතු බව අද (17) පැවති මාධ්‍ය හමුවකදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ සහෝදරයා පැවසීය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථා කරමින් ආණ්ඩුව මේ වන විට වරාය තුල වෘත්තීය සමිති මර්දනය කිරීමේ ක‍්‍රියාවලියකට අවතීර්ණය වී ඇති බවත් මෙම අත්තනෝමතික මාරු කිරීම් අවලංගු කිරීමට කටයුතු නොකරන්නේ නම් සමස්ත වරාය සේවකයින් සමග වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට යාමට කටයුතු කරන බවද මෙහිදී වසන්ත සමරසිංහ සහෝදරයා පැවසීය.
වරාය තුල විධායක නිලධාරීන් සඳහා පමණක් වැටුප් වැඩිකිරීම හේතුකොටගෙන සිදුවූ වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා සමස්ත සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට ආණ්ඩුවට බලකරමින් පසුගියදා උද්ඝෝෂණයක් පැවති අතර මේ සඳහා වරාය සේවකයින් විශාල ප‍්‍රමාණයක් සහභාගී වීමත් එක්සත් ජාතික පක්‍ෂයේ හා ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වෘත්තීය සමිතිවලින් විශාල සාමාජිකයින් පිරිසක් ඉවත් වී සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ සාමාජිකත්වය ගැනීමත් සමගම ආණ්ඩුව මගින් මෙම මර්දනය කිරීම ආරම්භ කළහ.
මෙම ජනමාධ්‍ය හමුව වෙනුවෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු සමන්ත කෝරලේආරච්චි, සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ලේකම් චන්‍ද්‍රසිරි මහගමගේ, සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි ඇතුලූ වෘත්තීය සමිති නියෝජිතයෝ සහභාගී විය.
මෙම මාධ්‍ය හමුවේදී වසන්ත සමරසිංහ සහෝදරයා දැක්වූ අදහස් සහිත හඩ පටය මෙහි පලකරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *