මෛත‍්‍රීගේ කඩු පහරින් හෝටල් ක්‍ෂේත‍්‍රය වලපල්ලට – හෝටල් සේවක මධ්‍යස්ථානය කියයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තෝබර් 26වනදා නීති විරෝධී ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පයින් ගසමින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරමින් සිදු කළ කුමන්ත‍්‍රණයේ ප‍්‍රතිඵලයක් ලෙස මේ වනවිට රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් සංචාරක කර්මාන්තයේ දැඩි අර්බුදයක් හටගෙන ඇතැයි හෝටල් සේවක මධ්‍යස්ථානය ඊයේ (30) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ය.
අන්තර් සමාගම් සේවක සංගමයට අනුබද්ධ හෝටල් සේවක මධ්‍යස්ථානයේ කැඳවුම්කරු බී.අයි ආබ්දීන්, අන්තර් සමාගම් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් නීතිඥ ජානක අදිකාරි, මහනුවර සිටඩෙල් හෝටල් ශාඛාවේ සභාපති ශාන්ත යන සහෝදරවරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වී සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥ ජානක අධිකාරී සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාගේ වැරදි දේශපාලන තීරන හේතුවෙන් රටේ විවිධ කර්මාන්ත කෙරෙහි එහි දුර්විපාක විදීමට සිදුව ඇති බවයි. ඒ අතර සංචාරක කරමාන්තය ප‍්‍රමුක ස්ථානයට පැමිණ ඇති බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී භාවිතාව තුළ රට අරාජික වන බව දුටු ලොව රටවල් ගනනාවක් ලංකාවට යාම පිලිබඳ සිය පුරවැසියන්ට අනතුරු අ`ගවා ඇති බවත් ජානක අධිකාරී සහෝදරයා සඳහන් කරයි.
සංචාරක සමය ආරම්භයේදීම රට තුළ ඇතිවූ මෙම දේශපාලන අර්බුදය හේතුවෙන් නවාතැන් ගැනීමට සිදු කර තිබූ ඇනවුම්වලින් 10%ත් 20%ත් අතර ප‍්‍රමානයක් අවලංගු කර ඇති අතර ලබන වසරේ අප්‍රෙල් දක්වා පැමිනෙතැයි බලාපොරොත්තු වූ ප‍්‍රමානයෙන් 20%ක 30%ක ඇනවුම් ප‍්‍රමානයක් නොපැමිනේයැයි මේ වනවිට ගණන් බලා ඇති බවද ඔහු අවධාරණය කළේය.
ඒ අනුව සංචාරක හෝටල් හා එකී කර්මාන්තය මුල්කොට ව්‍යාපාර කරන ලක්ෂ ගනනාවක් වැසියන්ද එක්ලක්ෂ අනූදහසක් (190,000) පමන වන සෘජු සේවකයන්ද මහත් අර්බුදයකට මහුණ දී ඇති බවත් විශේෂයෙන් සේවක සේවා ගාස්තු පහළ යෑම හේතුවෙන් සේවකයා කබලෙන් ලිපට වැටී ඇති බවත් ජානක අධිකාරී සහෝදරයා අවධාරණය කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *