රාජ්‍ය කළමණාකරන සේවකයින්ගෙන් ආණ්ඩුවට රතු එලියක්

වසර ගණනාවක් පුරා රාජ්‍ය කළමණාකරන සහකාර සේවකයින්ගේ පවතින ගැටලු සම්බන්ධව ඉදිරිපත් කර ඇති ඉල්ලීම් රජය විසින් ඉටු නොකරන්නේ නම් නුදුරු දිනයකදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදු වන බව රාජ්‍ය කළමණාකරන සහකාර නිලධාරීන්ගේ සංගමය පවසයි.

කළමණාකරන සහකාර යන තනතුරු නාමය ශ්‍රී ලංකා කළමණාකරන නිලධාරි යනුවෙන් වෙනස්  කිරීම, උසස් කිරීම සඳහා විභාග ක‍්‍රමයක් ඇති කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් එම ඉල්ලීම් අතර වේ.

වසර ගණනාවක් පුරා සිදුකරන ලද ඉල්ලීම් මේ දක්වාත් ඉටු නොවී ඇති බවත් අවසාන වශයෙන් සාකච්ඡාවක් ඉල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත ලිපියක් ඉදිරිපත් කර ඇති බවත් රාජ්‍ය කළමණාකරන සහකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති යූ. පලිහවඩන සහෝදරයා පැවසීය.

අගෝ. (20) දිනට පෙර සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ලබා දෙන මෙන් ලිඛිතව ඉල්ලා ඇති නමුත් මේ දක්වා ඊට ප්‍රතිචාරයක් ලැබී නොමැත. කෙසේ වෙතත් මෙම සතිය අවසන් වන තෙක් සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් බලාපොරොත්තු වන බවත් එසේ නොලැබෙන්නේ නම් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව සතිය අවසානයේ එක්ව තීරණයකට එළඹීමට සිදුවන බවත් පලිහවඩන සහෝදරයා වැඩි දුරටත් පැවසීය.

මෙම තීරණය ගෙන ඇත්තේ රාජ්‍ය සේවා කළමණාකරන සහකාර නිලධාරීන් නියෝජනය කරන වෘත්තීය සමිති 10ක පමණ එකතුවෙන් බවද පලිහවඩන සහෝදරයා ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *