වත්මන් ආණ්ඩුව දරුවන්ගේ අධ්‍යාපනය මැරයන් පිරිසකට දෙන්න යනවා

වත්මන් ආණ්ඩුව රටේ දරුවාගේ අධ්‍යාපනයේ හෙට දවස ගුරුවරුන්ගේ ඔලූ පලන මැරයින් පිරිසකට දෙන්නේ නම්  මවුපියන් ඒ පිළිබඳව තවදුරටත් සිතා බැලිය යුතු බව ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම අවධාරණය කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පසුගිය 04වනදා අධ්‍යාපන සේවා වෘත්තීය සමිති දැක්වූ විරෝධතාවට එරෙහිව විරෝධය පළ කරමින් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පත්වීම් ලද පිරිස් සහ මැරයන් වෙතින් එල්ල කෙරුණු ගල් ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව කොළඹදී ලංකා ගුරු සේවා සංගමය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

අධ්‍යාපන සේවා වෘත්තීය සමිති විසින් සිදු කළ වැඩ වර්ජනය සහ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග 90%ක් සාර්ථක වූ බවත් ආණ්ඩුව මෙම පත්වීම ලබාදීම හකුළා නොගතහොත් ඉදිරියේදී ජාතික විභාග වර්ජනය කිරීම දක්වා දැඩි ක්‍රියාමාර්ගවලට එළැඹීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

උද්ඝෝෂණය අවස්ථාවේදී තමා ඇතුළු පිරිසට පහරදුන් මැරයන් වහා අත්අඩංගුවට ගෙන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි ඔහු මේ වනවිටත් පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙන බවද පෙන්වා දුන්නේය.

මෙම නීත්‍යනුකූල නොවන දේශපාලන පත්වීම් පිළිබඳ මූලික වගකීම ජනාධිපතිවරයා භාරගත යුතු බවත් මෙම පත්වීම් ලබා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ලැයිස්තුවලට බවත් ඔහු අවධාරණය කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *