වතු කම්කරු වැටුප් වැඩි කිරිමට ආණ්ඩුව වහා මැදිහත්විය යුතුයි – කේ.සෙල්වරාජ්

වසර දෙකකට වරක් සංශෝධනය වන වතු කම්කරු සාමූහික ගිවිසුමෙන් වතු කම්කරු වැටුප් වැඩිකිරීම සිදුකළ යුතු බවත් අවසන් වරට 2016 ඔක්තෝබර් මාසයේදී වතු කම්කරු වැටුප් වැඩිවූ බවත් 2018 ඔක්තෝබර් මාසයේදී නැවත වැටුප් වැඩිවීමක් සිදුවිය යුතු නමුත් වැවිලි සමාගම් ඒ සඳහා සූදානමක් නැති බව සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කේ. සෙල්වරාජ් සහෝදරයා පවසයි.
සාමූහික ගිවිසුම අනුව වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවට එම සංගමය මගින් කම්කරු අමාත්‍ය රවීන්‍ද්‍ර සමරවීර මහතා වෙත ලිපියක් යොමුකොට ඇත. කේ. සෙල්වරාජ් සහෝදරයාගේ අත්සන් සහිතව යවා ඇති ලිපියේ මෙසේද සඳහන්ය.
මෙම ගිවිසුම සංශෝධනය වූ කවර අවස්ථාවක දී හෝ වැඩිවන ජීවන වියදමට අනුව සෑහීමකට පත්විය හැකි වැටුප් වැඩි කිරීමක් සිදුකර නැත. එනිසා වතු ජනතාවගේ ජීවිතය දිනෙන් දින කඩා වැටෙමින් පවතී. මන්දපෝෂණය 22% කි. ළමා මන්දපෝෂණය 35% කි. වතු ජනතාවගේ දරිද්‍රතාවය 10.9 කි. දරුවන්ගේ අධ්‍යාපනයද ඉතා දුර්වල මට්ටමකය. පාසල් වලට ඇතුලත්වන දරුවන් ගෙන් අ.පො.ස. සා.පෙල දක්වා ඉදිරිපත් වන්නේ 53.8% කි. උ.පෙල දක්වා ඉදිරිපත් වන්නේ 12.8% කි. විශ්ව විද්‍යාල සඳහා තේරි පත්වන්නේ 2% කි.
මෙතරම් පහත් මට්ටමකට ඔවුන්ගේ ජීවිතය කඩා වැටී තිබෙන්නේ ඔවුන්ට ප‍්‍රමාණවත් වැටුප් වැඩි වීමක් සිදු නොවීම නිසාය. දැනට ඔවුනට ලැබෙන වැටුප රු 730/= කි. මෙම ප‍්‍රමාණය ලබාගත හැකි වන්නේ කම්කරුවන්ගෙන් 35-40% වැනි ප‍්‍රමාණයකටය.
වැටුප් වැඩිවීම වසර දෙකකට වරක් සිදුවිය යුතු වුවත් එය එලෙසම සිදු වී නැත. 2015 අපේ‍්‍රල් මාසයේ වැටුප් වැඩිවීමක් සිදු විය යුතු වුවත් එය 2016 ඔක්තෝබර් මාසය දක්වා කල් දැමින. එහිදී වසරකුත් මාස 08 ක හිග වැටුප් ද නොගෙවා හැරීය. එයින් සේවකයන්ට සිදු වූ පාඩුව විශාල එකකි. මෙවරද එවැනි අත්දැකීමකට කම්කරුවන්ට මුහුණ දීමට ඉඩ නොතබන ලෙස ඉල්ලන අතර මෙම ඔක්තෝබර් මාසයේදීම වැටුප් වැඩි කිරීම සිදු කිරීමට ඔබගේ මැදිහත්වීම අත්‍යවශ්‍යව ඇත. එමෙන්ම වතු කම්කරු ජීවන අවශ්‍යතාවයට සරිලන වැටුප් වැඩි කිරීමකට අවස්ථාව සලසා ඔවුන් තෘප්තිමත්ව සේවයේ නියැලීමට අවස්ථාව සැලසීම අපගේ වගකීමකි. එසේ සිදු නොවුවහොත් දැනට සේවයේ යෙදෙන ලක්‍ෂ එකහමාරකට ආසන්න වතු කම්කරුවන්ගෙන් බොහෝ ප‍්‍රමාණයක් වතු රැුකියාවෙන් ඉවත් වී යාම වැලැක්විය නොහැක. එම තත්වය වැලැක්වීම සඳහා 2018 ඔක්තෝබර් මස ඉක්ම යාමට පෙර ගිවිසුම අත්සන් කිරීම කඩිනම් කරවීමේ වගකීම කම්කරු ඇමතිවරයා ලෙස ඔබ තුමාට ඇති බැවින් වතු කම්කරු සාමූහික ගිවිසුම කඩිනම් කර වතු කම්කරු වැටුප් වැඩි කිරීමට ක‍්‍රියාකරන ලෙස ඉල්ලා සිටින්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *