විදුහල්පතිනිය දණ ගැස්සවීමේ ආණ්ඩුකාර විමර්ශන වාර්තාව වැරදියි – ලංකා ගුරුසේවා සංගමය

ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වු ආර්. භවානි මහත්මිය දණ ගැස්සවීමේ සිද්ධියට අදාලව ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් පත්කළ විමර්ශන නිළධාරින් සිදුකළ විමර්ශන වාර්තාව හොරාගෙන් පේන ඇසීමක් වැනි යැයි ලංකා ගුරුසේවා සංගමය පවසයි. ඒ අනුව ‘‘අදාළ විදුහල්පතිනිය දණගැස්සවීමක් සිදු නොකළ බවට’’ ලබාදී ඇති වාර්තාව අසත්‍යයක් බවද එම සංගමය නිවේදනයක් මගින් පවසා සිටී.
ලංකා ගුරුසේවා සංගමය මගින් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කොට ඇති අතර එම නිවේදනය වැඩිදුරටත් මෙසේද පලකර සිටිමු.
පාසලක පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන ලේකම් විසින් නිකුත් කරනලද චක‍්‍රලේඛ මගින් ඊට අදාල විධිමත් ක‍්‍රියා පටිපාටියක් පෙන්වා දී තිබියදී එය උල්ලංඝනය කරමින් දේශපාලන හිතවතුන්ගේ දරුවන් පාසලට ඇතුලත් කිරිමට සිදුකරන ලද බලපෑම මෙහි මුලික චෝදනාවකි.
මහ ඇමති වරයාගේ මෙම පටු දේශපාලන වුවමනාව වෙනුවෙන් රාජ්‍ය නිළධාරින් ලෙස ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ හා කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ මෙම විදුහල්පතිනියට මේ ස`දහා බලපෑම් කිරීමත්, එතැනින් නොනැවති ඒ සදහා මහ ඇමතිවරයාගේ නිළ නිවස වෙත රැුගෙන යාමත්, එහිදී මහ ඇමතිවරයා විසින් මෙම විදුහල්පතිනියට එල්ල කළ පීඩාව හා පසුව එම සිද්ධිය යටපත් කිරීමට සිදුකළ බලපෑම මෙහි මුලික විමර්ශනයට ලක් විය යුතු කරුණු වේ. එසේ නොමැතිව මෙහි එල්ල වු පීඩාවේ ප‍්‍රතිථලයක් ලෙස දණ ගැස්සවිම, දණගැසීම හෝ එවැනි කිසිවක් නොකර සිටිම හෝ මෙම විමර්ශනය අවසන් නිගමනයට අදාළ මුලිකවු කරුණක් නොවේ.
මෙහි වැදගත් වනුයේ මහ ඇමතිවරයා විසින් මෙම විදුහල්පතිනියට තම දේශපාලන බලය අනිසි ලෙස යොදා ගනිමින් අනීතික ක‍්‍රියාවක් සදහා බලපෑම් සිදුකර තිබේද? නැද්ද? යන බවයි. නමුත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් පත්කළ මෙම විමර්ශන නිලධාරින් සිදුකර ඇත්තේ ‘‘ යන්නේ කොහේදැයි ඇසු විට මල්ලේ පොල් යැයි ’’ කීම වැනි විමර්ශනයකි.
එහෙයින් අදාල විමර්ශනයේ අවසන් නිගමනය ලෙස මෙම සිද්ධියේදී මහ ඇමති වරයාට එල්ල වන බරපතල චෝදනා සගවා ඔහු හා ඔහුගේ නිළධාරින් ආරක්ෂා කිරිමට ඌව පළාත් ආණ්ඩුකාර වරයා තම නිළධාරින් හරහා ගෙන ඇති මෙම නිර්ලජ්ජිත උත්සාහය ලංකා ගුරු සේවා සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින අතර, අදාල විමර්ශන වාර්තාව වහා ඉවත් කර ගන්නා ලෙස බලකර සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *