20 යනු ගෝත‍්‍රවාදයට එරෙහි ශිෂ්ටත්වය වෙනුවෙන් අරගලයක්…

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ගෙන එනු ලබන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු ගෝත‍්‍රවාදයට එරෙහි ශිෂ්ටත්වය වෙනුවෙන් කරනු ලබන අරගලයක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක සහෝදරයා ප්‍රකාශ කරයි.

අනුර දිසානායක මහතා මේ බව ප්‍රකාෂ කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන ලද විධායක ජනාධිපති ධූරය අහෝසිකරීමට අදාල 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් කොළඹ මහජන පුස්තකාලීය ශ්‍රවණාගාරයේ දී ඊයේ (13) සංවිධානය කර තිබූ සංවාදශීලී සම්මන්ත්‍රණයට එක්වෙමිණි.

මෙම සම්මන්ත්‍රණයට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත සහෝදරයා සහභාගී වී සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහෝදරයා…

“විස්සේ ප‍්‍රධාන අරමුණ අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කර ගැනීමයි. සමහරු අහනවා මේ වෙලාවේ ප‍්‍රධාන ප‍්‍රශ්නය ඒකද කියලා. අපේ රටේ ජාතිවාදය වෙනුවට ජාතික සමගිය වෙනුවෙන් අරගලයක්  ඕනෑ. ආර්ථිකය කඩාවැටිලා, රුපියල කඩාවටිලා, 2019 ඩොලර් බිලියන 4.5ක ණයක් ගෙවන්න සිදුවෙනවා. ඒවා ගෙවන්නේ කොහොමද කියලා ප‍්‍රශ්නයක් තියෙනවා. මේ ආණ්ඩුව ගෙනියන විනාශකාරී ආර්ථිකයට එරෙහිව අරගලයක් කළ යුතුව තිබෙනවා. සමාජ අපරාධ වැඩිවෙලා, රිය අනතුරු වැඩිවෙලා, සියදිවි නසාගැනීම් වැඩිවෙලා. එම නිසා ක්‍ෂේත‍්‍ර ගණනාවකම අපිට අරගලයක් තියෙනවා. ඒ හා සමානව ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් අරගලයක් තිබෙනවා. සමහරු අපෙන් අහනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය කන්නද කියලා. ඇත්ත කතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිඳවැටීම මත අනෙක් සියල්ලත් රදාපවතිනවා. අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට ප‍්‍රධාන බාධාව වී ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමයයි.

දැන් සමහරු කියන ආකාරයට විධායක ජනාධිපති ක‍්‍රමය ඇති කිරීම දේශපේ‍්‍රමී වෙලා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම දේශද්‍රෝහී වෙලා. රටවල වෙළඳපොළ විවෘත කරන්න කොල්ලකාරී ආර්ථිකයක් හදන්න, ශ‍්‍රමය සූරාකන්න අධිරාජ්‍යවාදයට වුවමනාවක් තිබුණා, එම රටවල්වල ඒකාධිකාරී බලයක් ගොඩනගන්න. ඒ අනුව තමයි අපේ රටේ ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක‍්‍රමය ගේන්නේ. තමන්ගේ විවෘත ආර්ථික ක‍්‍රමයට එරෙහිව නැගෙන විරෝධය මර්දනය කරන්න තනි බලයක් අවශ්‍ය වෙලා තිබුණා. ඒ බලය තමයි විධායක ජනාධිපති ධුරය. 1980 ජූලි වර්ජනය වෙලාවේ ලක්ෂ ගාණක් කම්කරුවන් එළියට දැම්මා. එම නිසා අධිරාජ්‍යවාදීන්ගේ විනාශකාරී ආර්ථික ගමනට අවශ්‍ය විධායක බලයක් සහිත පාලකයින්. එමනිසා විධායක ජනාධිපිත ක‍්‍රමය කියන්නේ අධිරාජ්‍යවාදීන්ගේ උත්පාදනයක්. ඉරාකයේ, ලිබියාවේ, ටියුනීසියාවේ ඒකාධිපති පාලකයින් පිටුපස සිටියේ ඇමරිකාවයි. දේශපේ‍්‍රමය ගැන කියවන මහත්වරුන්ට අනුව දේශද්‍රෝහී ක‍්‍රියාව වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය ඇති කිරීමයි.

අද අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ඇති ආයතන අදාළ නොවන ආයතන බවට පත්වෙලා. ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්න රට පාලනය කරන්න කියලා කැබිනට් මණ්ඩලයක් පත්කරනවා. නමුත් විධායක ජනාධිපති ක‍්‍රමය නිසා කැබිනට් මණ්ඩලය වැදගම්මකට නැති ආයතනයක් බවට පත්වුණා. විධායක බලය නිසා ජනාධිපතිගේ කැබිනට් පත‍්‍රිකා එක දවසින් සම්මත වෙනවා. කවුරුවත් විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ජවිපෙ හිටපු චන්ද්‍රිකාගේ කැබිනට් මණ්ඩලයේ ඇයගේ කැබිනට් පත‍්‍රිකාවක් සම්මත වෙන්න අපි ඉඩ දුන්නේ නැහැ. ඉතිහාසයේ පළමු වරට තමයි ජනාධිපතිවරයෙකුගේ කැබිනට් පත‍්‍රිකාවකට එවැනි විරෝධයක් ආවේ. ඒ විතරක් නෙවෙයි විධායක ජනාධිපතිවරයා විසින් අමාත්‍යංශවල වැදගත්ම කොටස් තමන් යටතට ගත්තා. මදය ගැලෙව්වා. විදුලි සංදේශ අමාත්‍යාංශයේ ටීආර්සී එක, ඉඩම් අමාත්‍යංශයේ එල්ආර්සී එක, පරිසර අමාත්‍යංශයේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යංශයේ නීතිපති දෙපාර්තමේන්තුව වැනි වැදගත්ම ආයතන ටික විධායක බලය නිසා මහින්ද යටතට ගත්තා. ඒ විතරක් නෙවෙයි රටේ වැදගත්ම අමාත්‍යංශ ටික තිබුණේ පවුලේ සාමාජිකයින් යටතේ. එදා රටේ මුදල්වලින් 52%ක් පාලනය වුණේ තුන් හතර දෙනෙක් යටතේ. ඉතුරු ඇමතිවරු අනූවක් විතර පාලනය කළේ රටේ මුදල්වලින් 48%ක් පමණයි.

ඒ විතරක් නෙවෙයි අද අපේ රට පාලනය කරන්නේ කැබිනට් මණ්ඩලයෙන් නෙවෙයි. කැබිනට් මණ්ඩලයට පිටින් තමයි ආණ්ඩුව හැදෙන්නේ. චන්ද්‍රිකාගේ පාලනය කාලේ ආණ්ඩුව වුණේ චන්ද්‍රිකා, මනෝ තිත්තවැල්ල, බාලපටබැඳි, තරා දි මෙල්. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව වුණේ මහින්ද, බැසිල්, චමල්, ගෝඨාභය, නාමල් කොල්ලා. මේ අය ජනාතාවට වගකියන්නේ නැහැ. ඇමතිවරු කරන්නේ තමන්ගේ ප‍්‍රදේශයේ ගස්කපන එක, වැලි ගොඩදාන එක, ගල්වළවල් පවත්වාගෙන යන එක, පතල් හාරනවා, ගංජා වවනවා. මේ වැඩ. ඇමතිවරුන් රට පාලනය කරන්නේ නැහැ. විධායක ජනාධිපතිවරයා යටතේ ඔවුන්ට බලයක් නැහැ.

අධිකරණ පද්ධතිය ස්වාධීන නැහැ. විධායක ජනාධිපති විසින් ඒ බලය යටපත් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වෙන්නේ ඒ මොහොත් ක්‍ෂේත‍්‍රයේ ඉන්න ජ්‍යෙෂ්ඨයායි. නමුත් මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විදියට පත්කළේ නඩු අහමින් හිටපු මොහාන් පීරිස්. ඒ විතරක් නෙවෙයි ඔහු එම පත්වීමට කලින් සෙලාන් බැංකුවේ සභාපති. බැංකුවක සභාපති කෙනෙක් අගවිනිසුරු වෙනවා. අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක නෙරපලා තමයි ඔහු පත්කළේ. අධිකරණ කිසිදු බලයක් නැති ආයතන බවට පත්කරනවා. ඒ විතරක් නෙවෙයි ජනාධිපතිවරයාට අධිකරණයෙන් ලබාදුන් තීන්දු වෙනස් කරන්න පුළුවන්. ද`ඩුවමට ලක්වූ පුද්ගලයෙකුට යුක්තිසහගත ලෙස ජනාධිපති සමාව දෙන්න අවස්ථාවක් හදලා තියෙනවා. එය භාවිතා කළ යුත්තේ යම් අයුක්තිසහගත ලෙස දණ්ඩනයට ලක්වූ පුද්ගලයින්ට සමාව දීම සඳහායි. නමුත් මහින්ද රාජපක්ෂ එය භාවිතා කළේ යුක්තිසහගතව නෙවෙයි. ඔහු සමාව දුන්නේ ජනතා මුදල් අයථා පරිහරණය කරපු, කාන්තාවන් ඝාතනය කරපු, ස්ත‍්‍රීන් දූෂණය කරපු අපරාධකාරයින්ට නිදහස ලබාදෙන්නයි. ඒ වගේම ජනාධිපතිට පුළුවන් නඩු අහන්න කලින් තීරණ ලබාගන්න. තමන්ට අවශ්‍ය නම් යම් නීතිමය කරුණක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය හොර රහසේ ලබාගන්න පුළුවන්. එහෙම මතය ලබාගත්තාම ජනතාවට ඊට එරෙහිව නඩු පවරන්න අවස්ථාවක් අහිමි වෙනවා. මහින්දට තුන්වතාවක් ජනාධිපතිවරණයට එන්න පුළුවන් කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය ලබාගත්තා. ඒ නිසා කාටවත් එය අභියෝගයට ලක් කරන්න බැරිවුණා. මේ ක‍්‍රමය වෙනස් කරන්න  ඕනෑ. ආණ්ඩුවට  ඕන නම් නිතිපතිගෙන් මතය ලබාගන්න පුළුවන්. ආණ්ඩුවේ නීති උපදේශකයා නීතිපතියි. ඔහුගෙන් ලැබෙන මතය අභියෝග කරන්න ජනතාවට අයිතියක් තිබෙන්න  ඕනෑ. ඒ නිසා 20වැනි සංශෝධනය මගින් අපි යෝජනා කරනවා ජනාධිපති සමාව දිය යුත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුවයි.

ඒ විතරක් නෙවෙයි විධායක බලය තබාගෙන දේශපාලන පක්ෂ විනාශ කරනවා. මහින්ද රාජපක්ෂ ශ‍්‍රීලනිපයේ අපේක්ෂක ලැයිස්තුවට අනර්කලී වැනි අයගේ නම් දැම්මා. එවකට දිස්ත‍්‍රික්කයේ නායකයා වුණ ශාන් විජේලාල්, ඇය ලැයිස්තුවට දාපු හේතුව දන්නේ නැහැ. ඒ වගේම ශ‍්‍රීලනිප පක්ෂ මූලස්ථානය හදන්න මහින්ද රාජපක්ෂ පටන් ගත්තා. මහලේකම් මෛත‍්‍රී, භාණ්ඩාගාරික ඩලස්. නමුත් මුදල් එකතු කළේ නාමල් රාජපක්ෂ. ඇයි? තාත්තා ජනාධිපති නිසා. මේ විදියට පක්ෂවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි කරනවා විධායක බලයෙන්. එනිසා මේ අධිකාරී බලය වෙනස් කළ යුතුයි. ඇත්තටම අද විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතුද නැද්ද කියලා විවාදයක් නැහැ. තිබෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න 20 කොයිතරම් සුදුසුද නැද්ද කියන එක විතරයි. ව්‍යවස්ථා සංශෝධන හදන්න ඒවාට වෙන්වූ විෂය ගැන දැනුමක් ඇති ආයතන තිබෙනවා. නමුත් 20 හැදුවේ ජවිපෙ සමඟ සම්බන්ධ වුණ පිරිසක්. ඒ නිසා 20හි සංශෝධන තියෙන්න පුළුවන්. 17, 18, 19 සංශෝධනවලටත් විශාල ලෙස අලූතින් සංශෝධන ඇතුල් වුණා. 20ටත් එන්න පුළුවන්. නමුත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැන විවාදයක් නැහැ. විධායක ජනාධිපති ක‍්‍රමය නිර්මාණය වූ දිනයේ සිටම සියලූ දෙනා එයට විරුද්ධ වුණා. සිරිමාවෝ බණ්ඩාරනායක, 1994දී චන්ද්‍රිකා, 1999දී නැවතත් චන්ද්‍රිකා, 2005දී 2010දී මහින්ද රාජපක්ෂ 2015දී මෛත‍්‍රී මේ සියලූ දෙනාගේ මූලික සටන් පාඨය වුනේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් ඔවුන්ගේ පක්ෂ සමුළුවල විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න යෝජනා සම්මත කරගෙන තිබෙනවා.

2005දී මහින්ද රාජපක්ෂ ආවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන් පාඨය එක්ක. නමුත් රනිල් වික‍්‍රමසිංහ ආවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න නොව ආරක්ෂා කරන්නයි. අද විධායක ජනාධිපති ධුරය ආරක්ෂා කරන්න කෑමොර දෙන අය එදා සහය දෙන්න තිබුණේ මහින්දට නෙවෙයි රනිල්ටයි. එදා ජවිපෙ ඉඳගෙන විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න වේදිකාවල කෑගහපු අය අද ඒක ආරක්ෂා කරන්න කතා කරනවා. ඒ අය කියනවා යුද්ධය ඇති වුණොත් යුද්ධ කරන්න විධායක ජනාධිපති ධුරය  ඕනලූ. ජනතා විමුක්ති පෙරමුණේ අපි පැහැදිලිව කියනවා අපි දේශපාලනය කරන්නේ රටේ යුද්ධයක් ඇති නොවෙන ආකාරටයි. අපේ දේශපාලනය යුද්ධය ඇති කිරීම නොව යුද්ධය වැළැක්වීමයි. නමුත් අද ඇතැම් අයට යුද්ධය නැතුව පාලූයි. අමාරුයි. මොකද ඔවුන්ගේ දේශපාලනය තිබුණේ යුද්ධය පෙන්වලා වීරයින් වීමෙන්. අද වීරවංශලා එල්ටීටීඊ සාමාජිකයින්ටත් වඩා යුද්ධය ප‍්‍රාර්ථනා කරනවා. ඒ නිසා තමයි ඉතාම සුළු සිද්ධිවලදී පවා කොටි නැගිටිනවා කියලා කෑ ගහන්නේ. යුද්ධය ඇතිකිරීමට තමයි විධායක ජනාධිපති ක‍්‍රමය ප‍්‍රාර්ථනා කරන්නේ. යුද්ධය අවසන් කරන්න නොව යුද්ධය ඇති කිරීමට තමයි විධායක ජනාධිපති ක‍්‍රමය හේතු වුණේ. සංවර්ධන සභා ඡුන්දයේදී යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. 1983දී කළු ජූලිය නිර්මාණය කළා. එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කළේ එදා ජේආර් විධායක ජනාධිපති ක‍්‍රමය භාවිතා කරලා කරපු ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියාමාර්ගයි. එදා ජේආර්ට කිව්වේ යැංකි ඩිකී කියලා. ඇමරිකන් ගැති ජේආර් ඉන්දියාවට එරෙහිව අනුගමනය කරපු විදේශ ප‍්‍රතිපත්තිය නිසා ඉන්දියාව කොටි සංවිධානයට උදව් කළා. අවිආයුද දුන්නා. සුළු සංවිධානයක් වුණු එල්ටීටීඊ සංවිධානය විශාල සංවිධානයක් දක්වා වර්ධනය වුණේ ජේආර් විධායක බලය පාවිච්චි කරලා විදේශ ප‍්‍රතිපත්තිය වෙනස් කරපු නිසයි. විධායක බලයෙන් තමයි යුද්ධය වර්ධනය කළේ.

ජවිපෙ සන්නද්ධ ව්‍යාපාරයක් බවට පත්වුණේ කොහොමද? 83 කළු ජූලියත් සමඟ ජේආර් ජවිපෙ තහනම් කළා. 82 ජනාධිපතිවරණයෙන් ජවිපෙ ඡුන්ද දෙලක්ෂ හැත්තෑතුන්දහස් ගණනක් ගත්තා. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජවිපෙ මන්ත‍්‍රීවරු ගණනාවක් පාර්ලිමේන්තු යන්න ඉඩ තිබුණා. නමුත් ජේආර් තමන්ගේ විධායක බලතල පාවිච්චි කරලා ජවිපෙ තහනම් කළා. එදි ජවිපෙට මර්දනයට එරෙහිව සටන් කරන්න සිදුවුණා. එය තමයි සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වුණේ. පාලකයින් අපේ සහෝදරවරු විශාල ගණනක් ඝාතනය කළා. රට ඇවිදින කැරකොප්පුවක් බවට පත්කළේ ජේආර් විධායක ජනාධිපති ධුරයේ බලයෙන්. ඒ වගේම ජේඅර් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළා. එදා පේ‍්‍රමදාස එයට විරුද්ධ වුණා. කැබිනට් මණ්ඩලය එකඟ වුණේ නැහැ. එහෙම තියෙද්දී තමන්ගේ තනි කැමැත්තට ගිවිසුම අත්සන් කළා. අද සමහරු පළාත් සභා ගැන බලය බෙදීම ගැන කතා කරනවා. එදා පළාත් සභා ක‍්‍රමය හදන්න ගිවිසුම් අත්සන් කළේ විධායක බලතල පාවිච්චි කරලා. රට බෙදන්න, යුද්ධ ඇති කරන්න තමයි විධායක බලය හේතු වුණේ. එදා ගිවිසුම අත්සන් කරන දවසේ ඊට එරෙහිව පාරට බැහැපු සාමාන්‍ය ජනතාව 148ක් පමණ ඝාතනය කළා. එදා ජවිපෙ ගිවිසුමට එරෙහිව කටයුතු කළා. පාවාදීපු ද්‍රෝහීන්ට අදාළ නොවුණට අපේ සහෝදරවරු වෙනුවෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ වගකීම අපිට තිබෙනවා.

ඊළඟට අපිට චෝදනා කරනවා අපි කරන්නේ රනිල්ගෙ කොන්ත‍්‍රාත්තුවක්ලූ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කාටවත් නටවන්න පුළුවන් පක්ෂයක් නෙවෙයි. කෑ ගහන අය තමයි අද ඔඩොක්කු කුක්කෝ බවට පත්වෙලා ඉන්නේ. 20වැනි සංශෝධනය කොහොමද රනිල්ගෙ කොන්ත‍්‍රාත්තුවක් වෙන්නේ. 20 සම්මත වුනාම රනිල්ට මොකද වෙන්නේ. විස්ස ක‍්‍රියාත්මක වුණාම අපි යෝජනා කරනවා 2020 පෙබරවාරි මාසේ 08 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා. එතකොට 2020 සැප්තැම්බර් වෙනකල් තියෙන්න  ඕන ආණ්ඩුව 2020 පෙබරවාරි අවසන් වෙනවා. ඇත්තටම වෙන්නේ මාස 7ක් කලින් රනිල්ගේ ආණ්ඩුව අවසන් වෙන එකයි. එතකොට කියනවා රනිල්ට ජනවාරි සිට පෙබරවාරි දක්වා මාසයක බලයක් යනවලූ. මාසයකින් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න යෝජනා කරන්නේ ඇතිවිය හැකි අස්ථාවර තත්වය වළක්වන්න. නමුත් කවුරු හරි යෝජනා කරනවානම් 2020 ජනවාරි 09වෙනිදම විසුරුවා හරින්න කියලා අපි ඒකටත් කැමතියි. නමුත් මේකෙන් මෛත‍්‍රීට වාසියක් තියෙනවා. විස්ස ක‍්‍රියාත්මක වෙලා ඊළඟ පාර්ලිමේන්තුව පත්වෙනකල් මෛත‍්‍රීට ජනාධිපති පුටුවේ ඉන්න පුළුවන්. නැත්නම් මෛත‍්‍රී 2020 ජනවාරි 09වෙනිදා ගෙදර යනවා. විස්සට අනුව තවත් කාලයක් මෛත‍්‍රීට ජනාධිපති පුටුවේ ඉන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි කියනවානම් මේක මෛත‍්‍රීගේ වුවමනාවට කරනවා කියලා ඒකට තර්කයක් තිබෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂට දැන් තියෙන ව්‍යවස්ථාව අනුව රටේ නායකයා වෙන්නත් බැහැ ආණ්ඩුවේ නායකයා වෙන්නත් බැහැ. නමුත් විස්සට අනුව මහින්දට ආණ්ඩුවේ නායකයා වෙන්න පුළුවන්. මොකද 20වැනි සංශෝධනය අනුව ආණ්ඩුවේ නායකයා වෙන්නේ අගමැතිවරයායි. ඒ නිසා කාට හරි කියන්න පුළුවන් මේක මහින්දගේ වුවමනාවක් කියලා. දැන් තිබෙන ව්‍යවස්ථාවට අනුව මහින්දට අගමැති වෙන්නත් බැරි බවට නීති තර්කයක් තිබෙනවා. දැන් ව්‍යවස්ථාව අනුව කුමන හෝ හේතුවක් මත ජනාධිපති ධුරය හිස් වුවහොත් අගමැතිවරයා තමයි ජනාධිපති වෙන්නේ. නමුත් දෙවරක් ජනාධිපති වූ පුද්ගලයෙක් හට නැවත ජනාධිපති වෙන්න නොහැකි නිසා අගමැති තනතුරට පත්වෙන්නත් නුසුදුසුකමක් ඇතිවෙනවා. මොකද දැන් තිබෙන ව්‍යවස්ථාවට අනුව අගමැති ධුරයට පත්විය යුත්තේ ජනාධිපතිධුරයට පත්විය හැකි පුද්ගලයෙකුට පමණයි. කෙසේ වෙතත් ජවිපෙට පුද්ගල සාධක අදාල වෙන්නේ නැහැ. ඒ පුද්ගල කිසිවක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාල කරුණු නෙවෙයි. අපි දේශපාලනය කරන්නේ රට ගැන හිතලා.

තව කට්ටියක් කියනවා අපි විස්ස ගෙනාවේ ගොඨාභයට බය නිසාලූ. අපි එකක් කියන්න කැමතියි, රජ්ජුරුවන්ට බය නැති ජවිපෙ දොරටුපාලකයින්ට කොහොමත් බය නැහැ.  ඕනෑම සතුරෙක් අපි ඉදිරියේ තබාගෙන  ඕනෑම තත්වයක් යටතේ දේශපාලනය කරන්න ජවිපෙ අපි සූදානම්. විස්ස සම්මත වුනොත් ගෝඨාභයට ජනාධිපති වෙන්න බැරිලූ. ඒක අපේ ප‍්‍රශ්නයක්වත් රටේ ප‍්‍රශ්නයක්වත් නෙවෙයි. ඒක එයාලගේ පවුලේ ප‍්‍රශ්නයක්. ගෝඨාභයට ජනාධිපති වෙන්න බැරිනම් අගමැති වෙන්න අවස්ථාව දෙන්න මහින්දට පුළුවන්. ඒක පවුලේ අය බේරගන්න කියලා අපි කියනවා. අපි විස්ස ගෙනාවාම ගෝඨාගේ පාර වැහෙන නිසා තමයි අද වීරවංශ ගම්මන්පිල වගේ අය කෑගහන්නේ. අද විස්සට විරුද්ධ කිහිපදෙනෙක් ඉන්වා. වීරවංශ, ගම්මන්පිල, හකීම්, මනෝ ගනේෂන්, ෆොන්සේකා සහ චම්පික. මේ හයදෙනා කොහොමද එක මල්ලට වැටෙන්නේ. වීරවංශ ගම්මන්පිලට අනුව හකීම්, මනෝගනේෂන්, ෆොන්සේකා සහ චම්පික දේශද්‍රෝහීන්. වීරවංශ, ගම්මන්පිලට අනුව වීරවංශ ගම්මන්පිල දේශපේ‍්‍රමීන්. හකීම්, මනෝගනේෂන්, ෆොන්සේකා සහ චම්පිකගේ නායකයා රනිල්. වීරවංශ, ගම්මන්පිල දෙදෙනාගේ නායකයා මහින්ද. මේ කට්ටිය එක මල්ලට වැටෙන්නේ කොහොමද? මේ සියලූ දෙනාට තනියෙන් තරඟ කරලා මැතිවරණයක් දිනන්න බැහැ. හාමු කෙනෙක්  ඕනෑ. ඒ තමයි විධායක ජනාධිපති ධුරය. ඒක අහෝසි වුනොත් 113කට වඳින්න  ඕනෑ. ඊට වඩා පහසුයි එක හාමු කෙනෙක්ට වඳින එක. ඒකට ජනාධිපතිවරණයක්  ඕනෑ. ඒ ජනාධිපතිවරණයේදී තමයි තමන්ගේ නායකයට තමන් හොඳම කුක්කා කියලා පක්ෂපාතීත්වය පෙන්වන්න පුළුවන් වෙන්නේ. හාමු දිනවමු කියලා ස්ත්‍රෝත‍්‍ර කියන්න ඒ අයට එක් පුද්ගලයෙක් කෙනෙක්  ඕනෑ.

ඊට පස්සේ කියනවා ඇලෝසියස් වගේ අය ජනාධිපති පුටුවට එනවලූ. ජනාධිපතිවරු සල්ලිවලට විකිණුනේ නැද්ද? චීන සමාගම්වලින් ශිරන්ති රාජපක්ෂගේ ගිණුම්වලට මුදල් ආවේ නැද්ද? පුෂ්පා රාජපක්ෂගේ ගිණුම්වලට මුදල් ආවේ නැද්ද? පුළුවන්නම් නෑ කියන්න. ජනාධිපතිම විදෙස් සමාගම්වලට විකිණුනා. තෙල් සමාගම් විසින් ජනාධිපතිවරු මිලට ගන්නවා. ඒ නිසා මුදලට විකිණෙන එක ව්‍යවස්ථාමය කරුණුවලින් වළක්වන්න බැහැ. ඒකට රටේ යහපත් දේශපාලන සදාචාරයක් හදන්න  ඕනෑ. හොරකම් කරපු ඇමතිවරුන්ට ඉල්ලා අස්වෙන්න පුළුවන් වෙන්නේ පුරවැසි සමාජයේ බලපෑම මතයි. තමන් පත්කරලා යවන ජනතා නියෝජිතයා තමන්ට වගකියන්නේ නැතිනම් ජනතාව ඉදිරියට එන්න බැරි තත්වයක් හදන්න  ඕනෑ ජනතාවයි. නමුත් අපේ රටේ හොරකම් කරපු මන්ත‍්‍රී හිරේ යනකොට සම්මානයක් ගත්තා වගේනේ යන්නේ. හොරුන්ට පිරිත් නූල් බඳිනවානේ. ඒ හොරා හිතනවා නිවනට යන්න හොඳම මාර්ගය ඒක කියලා. පර්පර්චුවල් සිද්ධියට කලින් ඉඳලම අපි පාර්ලිමේන්තුවේ ඔය කට්ටිය ඉදිරියේ තියාගෙ කිව්වා අද මන්ත‍්‍රීලා කුණුමාළු ගානට විකිණෙනවා කියලා. ඒක තමයි අද ඔප්පු වෙලා තිබෙන්නේ. ඒ නිසා ව්‍යවස්ථාවෙන් විකිණෙන එක වළක්වන්න බැහැ. නමුත් අපි යම් උත්සහයක් ගන්නවා පක්ෂය විසින් මන්ත‍්‍රීවරුන්ට එරෙහිව ගන්න විනය ක‍්‍රියාමාර්ග වාරණය කළ නොහැකි ප‍්‍රතිපාදන ගේන්න.

විස්ස සම්මත කරන්න මූලික වශයෙන් 150ක්  ඕනෑ. අපිට ඉන්නේ මන්ත‍්‍රීවරු 06යි. නමුත් අපි 2001 මන්ත‍්‍රීවරු 10ක් ඉන්න වෙලාවේ 17වැනි සංශෝධනය සම්මත කරගත්තා. එදා මන්ත‍්‍රීවරු 223ක් 17ට එකඟ වුනා. එජාපයේ 106යි. මහින්දගෙ 54යි. ටීඑන්ඒ 16යි. මෛත‍්‍රීගේ 23යි. දොරකඩ 16යි. දේවානන්ද ළඟ 01යි. පොදු සම්මුතියක්  ඕනෑ. 17 සහ 19 හැර සියලූ සංශෝධන සම්මත කරගත්තේ ආණ්ඩුවට 2/3ක බලයක් තියෙනකොට. 17 සහ 19 හැර අනෙක් සියල්ල ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී සංශෝධන. 17 සහ 19 පමණයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතකර වුණේ. නමුත් ඒවා සම්මත කරගත්තේ පාර්ලිමේන්තුවේ පොදු සම්මුතියෙන්. ඒ නිසා අදත් පාර්ලිමේන්තුවේ තිබෙන සංයුතිය හොඳයි. ඒ සංයුතියේ එක කණ්ඩායමකට නායකත්වය දෙන මහින්ද විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න එකඟයි. මෛත‍්‍රීපාල සිරිසේන අවස්ථා ගණනාවකදී ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කිව්වා. රනිල් වික‍්‍රමසිංහ අවස්ථා ගණනාවකදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න එකඟවෙලා තිබෙනවා. මේ තිදෙනාම එකඟතාවයක් තිබෙනවා. පොදු සාධකයක් තිබෙනවා ව්‍යවස්ථාව අනුව මහින්දට විධායක ජනාධිපති පුටුවේ වාඩිවෙන්න බැහැ. මෛත‍්‍රීට කැමති වුනත් වාඩිවෙන්න බැහැ. 2015දීත් රනිල්ට බැරි වුන එකේ රනිල්ට කොහොමත් ජනාධිපති පුටුවේ වාඩිවෙන්න බැහැ. අඩුම තරමේ ඒ ගැනවත් හිතන්න. නරක සිතුවිලි නිසා හොඳ ප‍්‍රතිඵල ලැබෙනවා. අද ඒකාබද්ධය මොනවා කිව්වත් වෙල්ගම, බන්දුල, ප‍්‍රසන්න රණතුංග, වාසුදේව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ මූලික එකඟතාවයේ ඉන්නවා. ඒ ගැන අපි සුභදායි විදියට බලනවා. ඒ නිසා අපිට තිබෙන්නේ 20 ගැන සංවාදයක්. වෙනස් වෙන්න  ඕනෑ කරුණු ගැන අපි කතා කරමු. නමුත් එක කණ්ඩායමක් ඉන්නවා දත්ත තොරතුරු මත වෙනස් කරන්න බැහැ. ඔවුන්ට දේශපාලන අදහසක් තිබෙනවා. ඔවුන් වෙනස් කරන්න බැහැ. ඒ අය සමඟ සංවාද කරලා වැඩක් නැහැ. ජවිපෙ ගෙනාපු එකට අකමැති නම් වෙන කෙනෙක් ගේන්න. මොකද විධායක ජනාධිපති ධුරයේ අහිතකර ප‍්‍රතිඵල අපි දැකලා තිබෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමයෙන් ඒකාධිපතියන් බිහිවුණු හැටි අපි දැකලා තිබෙනවා. විනාශය අපි දැකලා තිබෙනවා. විධායක ජනාධිපති ධුරය පතෝල පන්නයේ අයට හිමිවීමෙන් ඇති වන ප‍්‍රතිඵලත් අපි දකිමින් ඉන්නවා. අන්ත දෙකෙන්ම අපි ආනිශංස දැකලා තිබෙනවා.

අද විස්ස පිළිබඳ අරගලය ශිෂ්ඨත්වය වෙනුවෙන් කරන අරගලයක්. ග්‍රෝත‍්‍රවාදී යුගයක සිට මිනිස් සමාජය සියවස් ගණනාවක් පීඩනයට, අධිකාරී බලයට එරෙහිව අරගල කළා. මිනිස් නිදහස පුද්ගලික නිදහස වෙනුවෙන් සටන් කරලා තිබෙනවා. ඒ සටන්වල ප‍්‍රතිඵල ලෙස තමයි ග්‍රෝත‍්‍රයේ නායකයා වෙනුවට ආයතනවලට බලය ලැබෙන ක‍්‍රම ස්ථාපිත වුනේ. පාර්ලිමේන්තුවෙන් නීති සම්පාදනය කරනවා. විධායකය විසින් නීති කි‍්‍රයාත්මක වෙනවා. ඒ නීති හරියට ක‍්‍රියාත්මක වෙනවද කියලා අධිකරණය විසින් මැන බලනවා. සමහරු තමන්ගේ ග්‍රෝත‍්‍රික නායකයා වෙනුවෙන්, හාමු වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ අශිෂ්ටත්වය වෙනුවෙන්. නමුත් අපි මිනිසුන්ගේ නිදහස පුද්ගලික නිදහස ශිෂ්ටත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා. මිනිස් ශිෂ්ටාචාරය නියෝජනය කරන්නේ සාමූහික තීන්දු තීරණ ගැනීමේ දිශාවයි. තනි පුද්ගල අධිකාරී බලය නොවේ. ග්‍රෝත‍්‍රවාදී අරාජිකවාදී පවුල් පාලනයන් වෙනුවට ශිෂ්ටත්වය, මිනිස් නිදහස වෙනුවෙන් සටනක් තිබෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ සටන ගැටගැසී තිබෙන්නේ.”

ජනතා නියෝජිතයාට බලය ලැබෙන පාලන ක්‍රමයක් හදන්න ඕනෑ …

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත සහෝදරයා…

“1978 සම්මත කරපු ව්‍යවස්ථාව මේ වෙනකොට 19 වතාවක් සංශෝධනය කරලා. 20වෙනි සංශෝධනය ගැන දැන් කතාබහක් ඇතිවෙලා. අපි මාස කිහිපයකට කලින් රටට ප‍්‍රකාශ කළා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න යෝජනාවක් ගේනවා කියලා. ඇත්තටම මේකේ අරමුණ වුණේ ජනාධිපති ක‍්‍රමය වෙනුවට අපේ රටේ පාර්ලිමේන්තු ක‍්‍රමය ස්ථාපිත කරන එකයි. අපි එදා ඉදලා ඒ ක‍්‍රමය හොඳයි කියලා පිළිගත්ත පක්ෂයක්. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා බලයට ආපු අය ඒ යෝජනාව ගේන්නේ නැති නිසා අපි ඒක ගෙනාවා. අපි මේ යෝජනාව ගේනවා කියපු වෙලාවේ ඉඳලා ඇතැම් අය කඩි ගුලක් වගේ ඇවිස්සුනා. මෙකෙන් රට බෙදනවා කිව්වා. මේක ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් කිවුවා. රෝ සංවිධානයේ වැඩක් කිව්වා. ඒකාබද්ධ විපක්ෂයේ අය, ඇතැම් හාමුදරුවන්වහන්සේලා මේ යෝජනාව දකින්නත් කලින් විවිධ කතා කිවුවා. අපි මේක හංගලා කරන දෙයක් නෙමෙයි. ඒ නිසා මූලික හරයට එකඟ නම් අපි මේක සංශෝධනය කරමු මූලික හරය වෙනස් නොකර.

එක මනුස්සයෙක් ගන්න තීරණවලට වඩා සාමූහික තීරණ ගන්න එක හොඳයි. ශ‍්‍රීලනිපයේ එජාපයේ වැනි පක්ෂවල තීරණ ගන්නේ එක මිනිහෙක්. ඒ පක්ෂවල ව්‍යවස්ථා හදලා තියෙන්නෙත් ඒ විදියට. අපේ පක්ෂයේ තීරණ ගන්නේ සාමූහිකවයි. අපේ පක්ෂයේ මධ්‍යමකාරක සභාව ගන්නා තීන්දු තීරණ තමයි දේශපාලන තීරණ වන්නේ. අපේ පක්ෂ ව්‍යවස්ථාව හදලා තියෙන්නෙත් ඒ විදියට. ඒ නිසා අපිට ඒ සාමූහික තීරණ ගන්න එක පුරුදුයි. රටටත් එවැනි ක‍්‍රමයක්  ඕනෑ. විධායක ජනාධිපති ක‍්‍රමය නිසා ඒ සමූහිකත්වය නැති වුණා. කැබිනට් එකේ තීරණ ගන්නේ ජනාධිපති. කැබිනට් එකට දාන ජනාධිපතිගෙ කැබිනට් පත‍්‍රිකා කවදාවත් ප‍්‍රතික්ෂේප වෙන්නේ නැහැ. මොකද විධායක බලය නිසා. එනිස  ඕනෑම සංවිධානයකට සාමූහික තීන්දු තීරණ ඉතා වැදගත්. නිවසකට, වෘත්තීය සමිතියක, මරණාධාර සමිතියක වුණත් සාමූහික තීන්දු ගැනීම තමයි වැදගත් වෙන්නේ. නමුත් අපේ රටේ 1978 සිට රාජ්‍ය පාලනයේදී සාමූහික තීන්දු තීරණ ගන්න එක නැවතුණා.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කිවුවට ඉන් පස්සේ එන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමය කියලා සංවාදය උඩට ආවේ නැහැ. නමුත් ඇත්තටම මෙකෙන් වෙන්නේ පාර්ලිමේන්තුවට බලය පැවරීමයි. දැන් සමහරු එක එක බිල්ලෝ මවනවා. නමුත් ඉන්දියාවේ තියෙන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමය. ඉන්දියාවේ භාෂා විශාල ගණනක් කතා කරනවා. සංස්කෘතික විවිධත්වය ඉතා විශාලයි. බෙදුම්වාදීන් විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. නමුත් පාර්ලමේන්තු ක‍්‍රමය තමයි තියෙන්නේ. අපි ජනවරම් දෙකක් දෙනවා. එක ජනවරමක් දීලා පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයෝ යවනවා. තවත් ජනවරමක් දෙනවා තනි පුද්ගලයෙකුට. ඒ තනි පුද්ගලයාට ජනවරම දීලා පාර්ලිමේන්තුව බලය අහෝසි කරනවා. එක ජනවරමක් අනෙක් ජනවරමෙන් අහෝසි කරලා දානවා. ඒ නිසා අද මහජන නියෝජිතයින් ගොන්පාට් එකක් වෙලා. කොන්ද පණ නැති ජනතා නියෝජිතයින් බිහිකරන්න විධායක ජනාධිපති ක‍්‍රමය හේතු වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවට යන ජනතා නියෝජිතයාට බලය නැහැ. මහජන නියෝජිතයෝ පතෝල බවට පත්වෙලා. ඒ නිසා මහජන නියෝජිතයාට බලය ලැබෙන පාලන ක‍්‍රමයක්  ඕනෑ. සාමූහික තීන්දු තීරණවලට බාධාව වුණේ විධායක ජනාධිපති ක‍්‍රමයයි. සාමූහිකත්වය තමයි ශිෂ්ටසම්පන්න වෙන්නේ. ඒ ශිෂ්ටසම්පන්න ක‍්‍රමය ගොඩනගන එක ජවිපෙ වැඩක් විතරක් නෙවෙයි. ඒක රටේ පුරවැසියගෙත් වගකීමක්. ඒ වෙනුවෙන් තමයි අපි මේ සාකච්ඡුාව ආරම්භ කරලා තියෙන්නේ. රටේ අස්සක් මුල්ලක් නෑර මේ සාකච්ඡුාව ගෙනියන්න  ඕනෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *