NTUC – FUTA සාකච්ඡා සාර්ථකයි

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජිතයින් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් අතර හමුවක් අද (23) පෙරවරුවේ විවෘත විශ්වවිද්‍යාලයේදී පැවති බවත් එහිදී අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ මතුව ඇති බරපතල ගැටළු ගණනාවක් හා සයිටම් අර්බූදය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත් සයිටම් අර්බුදය විසඳාගැනීම සඳහා ගෙන යන සටනට සෘජුවම සම්බන්ධ වන ලෙස එම ආචාර්ය සංගමයෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඉල්ලා සිටි බවත් ජාතික සංවිධායක සංවිධායක වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඒ මහතාගේ අත්සනින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාන නිකුත් කර ඇති නිවේදනයකින්ද එම සාකච්ඡාව පිලිබඳව තවදුරටත් මාධ්‍ය දැනුවත් කර සිටියි.

මාධ්‍ය නිවේදනය…

“අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ මතුව ඇති බරපතල ගැටළු හා සයිටම් අර්බූදය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර 2017/07/23 දින උදේ විවෘත විශ්වවිද්‍යාලයේදී පැවැත්වීය.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයා, ජාතික සංවිධායක වසන්ත සමරසිංහ සහෝදරයා ඇතුලු නියෝජිතයින් පස්දෙනෙකු සාකච්ඡාවට සම්බන්ධ විය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වෙනුවෙන් එහි වැඩ බලන සභාපති අරුණ කුමාර, ලේකම් මහාචාර්ය අර්ජුන පරාක‍්‍රම, භාණ්ඩාගාරික රොහාන් නන්දසිරි උපලේකම් අතුල සමරකෝන් හා මාධ්‍ය සම්බන්ධීකාරක අසේල රංගදේව යන මහත්වරුන් සහභාගි විය.

අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය තුල මතුව ඇති බරපතල අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩ පිළිවෙල පිළිබඳව මෙහිදී සාකච්ඡාව ලක්විය. රජය පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා ගුරුවරු 5000ක් උපාධිධාරින් ලෙස බඳවා ගැනීම, කොළඹ හා පේරාදෙනිය විශ්වවිද්‍යාල රජයේ පාලනයෙන් නිදහස් කිරීම, පාසල් පිරිවැය මධ්‍යස්ථාන ලෙස පරිවර්තනය කිරීම වැනි කාරණාත්, සයිටම් අර්බූදය පිළිබඳවත් සාකච්ඡා කරන ලදී.

අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් සකස් කර ඇති පුළුල් වැඩ පිළිවෙල ඉදිරියේදී සමාජගත කිරීමට කටයුතු කිරීම හරහා සයිටම් පිළිබඳව ඇති විරෝධය පැහැදිලි කරන බවත් සාකච්ඡා විය. එහිදී සයිටම් විරෝධි ‘ජන පවුර’ ලෙස ඉදිරියේදී ගෙන යන  කි‍්‍රයාමාර්ගවලදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ලෙස මැදිහත් වන ආකාරය පිළිබඳව ඉදිරි විධායක සභා රැස්වීමේදී තීරණය කරන බවත්, සාකච්ඡාවේදී සඳහන් කර සිටියේය.

එමෙන්ම ජූලි 25 දින පැවැත්වෙන සයිටම් විරෝධි ජන පවුරේ සමුළුවට නිල නියෝජිතයෙකු සහභාගි කරවන බවද සඳහන් කර සිටියේය.

නිදහස් අධ්‍යාපනය කප්පාදුවට එරෙහි අරගලය ඉතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමටත් දෙපාර්ශවයම ඒකාබද්ධව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන අරගලය ඉදිරියට ගෙන යාමටත් කටයුතු කිරීමට එකඟව සාකච්ඡාව අවසන් විය.

ස්තුතියි.

මෙයට, විශ්වාසි වූ,

වසන්ත සමරසිංහ – (077-3029004)

ජාතික සංවිධායක

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *