ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ (WFTU) ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ වෘත්තීය සමිති අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව

ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ එකසිය දොළොස්වන සැසිවාරයට සමගාමීව ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ (WFTU) ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ වෘත්තීය සමිති අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ (WFTU) ප්‍රධාන ලේකම්, පම්බිස් ක්‍රිස් සහෝදරයා, ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ (WFTU) ප්‍රජාතන්ත්‍රවාදී සහ වෘත්තීය සමිති අයිතිවාසිකම් පිළිබඳ කමිටුවේ ප්‍රධානී ජනක අදිකාරි සහෝදරයා සහ ග්‍රීසියේ සමාජ පර්යේෂණ සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ජෝර්ගෝස් බිතිමිත්‍රිස් මහතා යන අයගේ මූලිකත්වයෙන් ජුනි 11වන දින ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර දී පැවැත්විණි.

ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ (WFTU) ප්‍රධාන ලේකම්, පම්බිස් ක්‍රිස් සහෝදරයා මූලික අදහස් දැක්වීම සිදුකරන ලදී. එහිදී සම්මන්ත්‍රණයට සහභාගී වූ සියලු දෙනා පිළිගනිමින්, වැඩ කරන ජනතාවගේ සමාජීය සහ දේශපාලන ජයග්‍රහණවලට සහ වෘත්තිය සමිති කේවල් කිරීමේ අයිතියට එරෙහිව නිර්මාණය වී ඇති ගෝලීය තත්වයන් පිළිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලදී.

ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ (WFTU) ප්‍රජාතන්ත්‍රවාදී සහ වෘත්තීය සමිති අයිතිවාසිකම් කමිටුවේ ප්‍රධානී ජනක අදිකාරි සහෝදරයා, ප්‍රජාතන්ත්‍රවාදී සහ වෘත්තීය සමිති නිදහසේ වැදගත්කම විග්‍රහ කරන ලදි. තවදුරටත් අදහස් දක්වමින් කම්කරු පන්තියට සංවිධානය වීමට, කේවල් කිරීමට මෙන්ම ඔවුන්ගේ සමාජ හා දේශපාලනික ජයග්‍රහණ සඳහා ඉදිරියේදී සටන් කිරීමට කම්කරුවන්ට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව සමුළුව සඳහා සහභාගී වූ ග්‍රීසියේ සමාජ පර්යේෂණ සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ජෝර්ගෝස් බිතිමිත්‍රිස් මහතා අදහස් දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදී සහ සාධාරණ සමාජයක් තුළ කම්කරු පන්තියේ ආරක්ෂාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ වෘත්තීය සමිති ලෙස සංවිධානය වීමේ අයිතිවාසිකම් සිදුකරන කාර්යභාරය සහ එහි වැදගත්කම පැහැදිලි කරන ලදී.

එසේම මෙහිදී විශේෂ කාරණයක් වශයෙන් පලස්තීනයට එරෙහිව සිදුකරන ඊශ්‍රායලය ඇතුළු අධිරාජ්‍යවාදී ම්ලේච්ඡ ප්‍රහාර හෙළා දකිමින් අදහස් දැක්වීමක් සියලු නියෝජිතයන් සිදුකරන ලදී.

ඉන් අනතුරුව සාකච්ඡා වටයක් සිදු වූ අතර, එහිදී ලොව පුරා නන් දෙසින් සමුළුවට සහභාගී වූවන් එක් එක් කලාපයේ විවිධ තත්වයන් පිළිබඳ සාකච්ඡා කළහ. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයා සම්බන්ධ විය.

Leave a Reply

Your email address will not be published.